Tuesday, May 13, 2014

මහළු අය ආරක්ෂා කරන සංවේදක

රෝහල් වාර්තා පෙන්වා දෙන පරිදි බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හදිසියේ බිම ඇදවැටීමෙන් අබල දුබල වීම් සහ නොයෙක් රෝග වලට භාජනය වීම නිරතුරුව සිදුවේ. තම දූ දරුවන් සමඟ ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්මෙන්ම තනිකඩව ජීවත් වන මහළු අය ද මෙලෙස හදිසි ඇදවැටීම් වලට  ගොදුරු වේ. සැළකිලිමත් වීමට කිසිවෙකු හෝ නොසිටින අවස්ථා වලදී ඔවුන් බිම වැටුණු අවස්ථා බහුලව අසන්නට ලැබේ. දවසේ පැය 24 පුරාම සහ සෑම දිනකම ඇත්ත වශයෙන්ම ඔවුන් සහ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳව  අවධානයෙන් සිටීම ප්‍රායෝගිකව පහසු කාර්යයක් නොවන බව සත්‍යයකි. මහළු අය රකින සංවේදක තාක්ෂණය මේ සඳහා විකල්පයක් ලෙස ඉදිරිපත් වී තිබේ.

සිදුවුයේ කුමක්දැයි නොදැන සමහර අවස්ථාවලදී බිම වැටුණු වැඩිහිටියා පැය ගණනක් වුව එලෙසම වැතිර සිටීමද සිදු වේ. ලයිෆ් - අලට් (Life – Alert) මෙවැනි අවස්ථා වලදී දැනට භාවිතා වන උපකරණය මගින් යම් සහනයක්ලැබුණද ඒ සඳහා එම උපකරණය පැළඳ සිටීම අනිවාර්ය වේ. මේ සඳහා ජර්මනියේ සමාගම් කිහිපයක් විසින් සංවර්ධනය කර ඇති නව තාක්ෂණය Safe @ Home පද්ධතියයි.

Safe @ Home පද්ධතිය මගින් සැම කාමරයකම සිවිලිමේ සංවේදකයක් සවි කරනු ලැබේ. සංවේදක විසින් නිවස තුල ඇවිදින ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ චලනයන් ස්වයංක්‍රීයව නිරික්ෂණය කරයි. උපකාර ඉල්ලා කෑගැසීමක් හෝ බිම ඇදවැටීමක් ඇතිවු විට එය හඳුනාගනී. නිවසේ ප්‍රධාන අනතුරු අඟවනය වෙත රැහැන් විරහිතව ඒ බව දන්වා සිටියි. බිම වැටුණු වැඩිහිටියා නිශ්චලව සිටින කාලය, අදාල නිශ්චිත කාලය සමඟ සංවේදක මුලින් ම නියාමනය කර අනතුරුදායක බව නිවැරදිව හඳුනාගනී. අනතුරට භාජනය වු වැඩිහිටියාට, තොරතුරු ලද අනතුරු අඟවනය ප්‍රථමයෙන් දුරකථන ඇමතුමක් ලබා දී ඔහුට /ඇයට නැවත යථාතත්වයට පත් වීමට අවස්ථාව සලසා දෙයි. එයට පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් ලබාදීමට වැඩිහිටියා අපොහොසත් වුවහොත් අනතුරු අඟවනය හදිසි අවස්ථා ඒකක සහ පවුලේ සාමාජිකයින්ට දුරකථනය මඟින් අනතුරුදායක බව දන්වා සිටී.ලබාගත් සියළු දත්ත වැඩිහිටියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පද්ධතියේ ආරක්ෂිතව තැන්පත් කරයි. 

Safe @ Home පද්ධතිය නඩත්තු කිරීම අවශ්‍ය නොවන අතර බැටරි මාරු කිරිමද අනවශ්‍යය. නිවසේ කිසිදු ආකෘතීමය වෙනස්කමක් සිදු නොකර Safe @ Home පද්ධතිය ස්ථාපිත කළ හැකිය. නිවාස කිහිපයකම අත්හදා බැලීම් 2012 වසරේ සිටම ක්‍රියාත්මක කෙරෙන බවත් වෙළෙඳපොළ සඳහා මේ වසරේදී ඉදිරිපත් කරන බවත් වාර්තා වේ.
උපුටා ගැනීම :- 


No comments:

Post a Comment