Tuesday, February 25, 2014

නිවේදන ඝෝෂාකාරි නොවේ

බොහෝ ඝෝෂාකාරිය ගුවන් තොටුපළ, දුම්රිය නැවතුම්පළ,බස් නැවතුම්පළ වැනි ස්ථානවල නිසල බවක් අපේක්ෂා කිරීම සාධාරණද? මහජනයාට  ලබාදෙන නිවේදන මහජන ඇමතුම් ක්‍රම මඟින් අඛණ්ඩව ඇසෙන වෙඩි මුර මෙන් මහා හඬකින් නිකුත් වේ. එඩින්බොරෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෙම මහජන පීඩාව අඩු කිරීම සඳහා නව ක්‍රමයක් සංවර්ධනය කිරීමට උපකාර කර තිබේ.නව ක්‍රමය මඟින් නිවේදන පැහැදිලිව එහෙත් වඩාත් අඩු ශබ්දයකින් ලබාදිය හැක. 
පර්යේෂකයෝ සඳහන් කරන්නේ ඝෝෂාකාරි පරසරයක් තුල වාචික පණිවිඩ තේරුම් ගැනීමට පණිවිඩකරුගේ ප්‍රකාශයේ ඇතුළත් සියළු වචන ඇසීමට අවශ්‍ය නැති බවයි. ප්‍රකාශයේ ඇසීමට පහසු කොටස් (වචන) පමණක් පාදක කොටගෙන එවැනි අවස්ථාවලදී මිනිස්සු,  ඒවායේ වාක්‍ය සහ අදහස නිගමනය කර ගනිති. 
මෙම ප්‍රායෝගික තත්වයය අධ්‍යයනයකර ගණිතමය පරිගණක ප්‍රතිලේඛණ ක්‍රමයක් විද්‍යාඥයන් විසින් සකස් කර තිබේ. පෙර දැකවූ පරිදි ඇසීමට පහසු කොටස් ඝෝෂාකාරී පසු තලය තුළින් මතුවෙන ලෙස සංශ්ලේෂණාත්මකව මෙම ක්‍රමය මඟින් වර්ධනය කරයි. ගණිතමය ප්‍රතිලේඛණ ක්‍රමය මෙහෙයවීමෙන් වාචික පණිවිඩ වඩා හොඳින් මහජනතාවට හඳුනාගත හැකිලෙස සැකසේ. පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇත්තේ ඒ සඳහා ඩෙසිබල් 5කට වඩා අඩු ශබ්ද ප්‍රමාණයක් (අඩු Volume) පිට කිරීම ප්‍රමාණවත් බවයි.මේනිසා පණිවිඩය, අඩු ශබ්දයකින් ඇසුණද පැහැදිළිව තේරුම් ගැනීම හැකි වේ.එනම් ඝෝෂාවක් ඇති නොවේ. නිසල බවක් අපේක්ෂා කිරීම සාධාරණය. 
ප්‍රසිද්ධ මහජන ඇමතුම් සඳහා පමණක් නොව ශබ්දය නිකුත් කරන විවිධ උපකරණ සඳහාද මෙම තාක්ෂණය යොදාගත හැකිය. ඉදිරියේදී Smart phone සහ ගමන් මාර්ග ඉදිරිපත් කරන ක්‍රම වැනි විවිධ අවස්ථා සඳහා එය යොදාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Computer-manipulated speech could lead to quieter public announcements

By Ben Coxworth  September 10, 2013

http://www.ed.ac.uk/news/2013/speech-090913     ඇසුරෙනි

Sunday, February 23, 2014

මවක්වීමෙන් බුද්ධිය වැඩිවේද ?

ලෝන්ග්වුඩ් විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු වන ඇඩම් ප්‍රාන්සීන් මව්වරු වීමෙන් පසුව කාන්තාවන්ගේ මොළය වැඩි දියුණු වන බව ප්‍රකාශ කර තිබේ. මවක් වීමෙන් මතකය සම්බන්ධ ක්‍රියා සම්පූර්ණ කිරීම,තතීන් පාලනය සහ ගැටළු විසදීම වැනි කාර්යයන් වඩාත් නිවැරිදිව ක්‍රියාත්මක ක හැකි බව මීයන් ඇසුරෙන් කරන ලද පර්යේෂණයකදී නිරීක්‍ෂණය කර තිබේ.

සියළු ඉගෙනීම් කටයුතු වලදී අම්මාවරු වැඩි දක්‍ෂතා දක්වා ඇති බව පර්යේෂණ කිහිපයකදීම පැහැදිළි වූයේ යැයි ප්‍රාන්සීන් සඳහන් කර තිබේ. මී තරුණියක් හා මී මවක් යම් කාර්යයක් සඳහා පුරුදු පුහුණු කවිට මී මව, මී තරුණිය වඩා ඉක්මනින් එම කාර්යය අනුව ක්‍රියා කරන බව නිරීක්‍ෂණය කර ඇත. තවද වැඩිහිටියන්ගේ ආතතිය මවගේ ආදරය නිසා අඩු වී ඇති බවද වාර්තා වේ.

තරුණියක් ගැබිනියක් වූ දිනයේ සිටමොළය වෙනස් වීම ආරම්භ ව. මොළයේ ඇති නියුරෝන විශාල වී ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් නිපදයි. එමඟින් මව සහ කළලය අතර සන්නිවේදන ශක්තිය වර්ධනය වේ. ළමයා වඩා හොඳින් ආරක්‍ෂා කිරීමේ සහකම්පනය (empathy) මොළයේ රැහැන් නැවත සකස් වීම මඟින් වැඩි වීම සිදුවේ. මොළයේ තුවාල (Traumatic brain injury) වැනි අප්‍රසන්න ආබාධ  වලින් වඩා ඉක්මනින් සුව වීමේ හැකියාව මව්වරුන්ට ඇති බව මෙවැනි පරීක්‍ෂණයකදී හඳුනාගෙන තිබේ.
තමාද ඇතුළු පියවරුන්ට සහ මවක් නොවූ කාන්තාවන්ට, මවක් වීමෙන් මොළයේ සිදු වන මෙම දියුණුවීම ලබා ගත හැකි ක්‍රමයක් පිළිබඳව පර්යේෂණ පවත්වන බව ප්‍රාන්සීන් ප්‍රකාශ කරයි.

උපුටා ගැනීම :- 

Monday, February 17, 2014

රැවටීමෙන් සතුටුවිය හැකිද ?

රැවටිලිකරුවෝ ජයග්‍රාහී වන්නේ රැවටීම නිසා කිසිවෙකුට හානි නොවනතාක් වේ. රැවටිලි කිරීමෙන් බොහෝ විට මිනිසුන්ට සතුට ඇතිවේ. සමහර අවස්ථා වලදී එම සතුට අවංකව කටයුතු කිරීමෙන් ලබන සතුටට වඩා වැඩි විය හැකි බවද අධ්‍යයනයකින් වාර්තා වී තිබේ.
අධ්‍යනයට සහභාගී කර ගත් අය  රැවටීමෙන් ඔවුන් අසතුටට පත් වන බැවින් එය අනුමත නොකරන බව මුලින් ප්‍රකාශ කරන ලදි. එහෙත් එය සත්‍ය නොවන බව අධ්‍යයනයේදී පැහැදිලි විය. ඔවුන් විවිධ පරීක්‍ෂණ ක්‍රම වලදී ලද අවස්ථාවන් සඳහා මුහුණ දුන් ආකාරයෙන් ඒ බව අවධාරණය විය. Personality Social Psychology සඟරාවේ නොවැම්බර් කලාපයේ මේ අධ්‍යනයේ සම්පූර්ණ වාර්තාවක් පළ කර තිබේ. වංක වීම නිසා කිසිවෙකුට හානි නොවීම සත්‍ය වශයෙන්ම මෙම වංක වීමෙන් ප්‍රීතිය හට ගැනීමට මූලික හේතුව විය හැකිය. මක්නිසාදයත් මෙයට පෙර කරන ලද අධ්‍යනයේදී කිසිවෙකුට හෝ හිංසා කිරීම සඳහා රැවටීමක් කළ විට රැවටිලිකරු තමාගේ ක්‍රියාව ගැන දුකට පත් වෙන බව පැහැදිලි වූ බව මෙම අධ්‍යනයේ කතෘ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ නිකොල් ඊ. රූඩි පවසයි.
අධ්‍යනයේ එක් පරීක්‍ෂණයකදී කණ්ඩායම් දෙකක් ඇති කරන ලදි. මුල් කණ්ඩායමට ගණිත හා තාර්කික ගැටළු ලබා දෙන ලදි.එහෙත් ගැටළුවට පිළිතුරු දුන් ක්‍ෂණයෙන් ගැටළුව නොපෙනී ගියේය. එමඟින් රැවටීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරණ ලදි. දෙවැනි කණ්ඩායමට ගැටළු ලබා දී ගැටළුවට පිළිතුරු දැන ගැනීමට අවශ්‍යනම් පිළිතුරු බොත්තම එබීමෙන් බලා ගැනීමට හැකි බව    දන්වන ලදි. එහෙත් එසේ නොකරන ලෙසටද එම කණ්ඩායමට උපදෙස් දෙන ලදි. රැවටීමෙන් එනම් අවවාද නොසලකා 68% ක් පිළිතුර ලබා ගෙන තිබේ. පිලිතුරු සැපයීමෙන් පසු පළමු කණ්ඩායමට වඩා දෙවැනි කණ්ඩායම සතුටින් සිටිනු අධ්‍යයනයේදී පැහදිළි වී තිබේ. රැවටීම් කිරීමෙන් මිනිසුන් සතුටට පත් වීමට තවත් හේතුවක් ලෙස රැවටීම හෙලිවීමෙන් ගෙවීමට සිදුවන වන්දිය කුඩා වීම යැයිද සැළකිය හැකිය. එලෙසම තමන් වෙනුවෙන් තවත් කෙනෙකු රැවටීමක් කිරීම මඟින්ද මිනිසුන් සතුටට පත් වේ.
මෙම සොයා ගැනීම් ආවේග (Emotions) සදාචාරය (morality) සඳහා බලපාන්නේද දැයි හඳුනාගැනීමට වැදගත් වන්නේ යැයි පරීක්‍ෂකයෝ ප්‍රකාශ කරති.ඒ සඳහා ඔව්හු Earnest Hemingway ගේ යමක් කිරීමෙන් පසුව ඔබට දැනෙන පහසුව සදාචාරය (moral) බව සහ අපහසුව දුරාචාරය (immoral) බව සදාචාරය පිළිබඳ මගේ දැනීම යන ප්‍රකාශයද ඉදිරිපත් කරති.

උපුටාගැනීම:

Sunday, February 16, 2014

බහු කාර්ය වීදුරු කවුළු


විනිවිද පෙනෙන, උෂ්ණත්වයේ උච්චාවචන පාලනය කරන, ක්‍රියාකාරී වීමට බාහිර විදුලිය භාවිතා නොකරන බහු කාර්ය වීදුරු කවුළුවක් (ජනේලයක්) ෂැංහැයි විශ්ව විද්‍යාලයේ යැන්ෂෙං ගාඕ ගේ මූලිකත්වයෙන්යුත් පර්යේෂක කණ්ඩායම විසින් නිෂ්පාදනය කර ඇත. උෂ්ණත්වය පාලනය කරමින් විදුලිය උත්පාදනය කළ හැකි ජනේලය පරිසර හිතකාමී හා බලශක්තිය උපදවන ගොඩනැගිලි ඉදිකිරීමේ ප්‍රවණතාවයේ නිර්මාණයකි.

විනිවිද නොපෙනුනද සූර්ය කෝෂ සහිත විදුලිය ජනනය කළ හැකි කවුළුවක් නිර්මාණය කිරීම පර්යේෂක කණ්ඩායමේ මූලික අරමුණ විය. එහෙත්අවසානයේදී උෂ්ණත්වයට ප්‍රතිචාර දැක්වීමට හැකි ලෙස ප්‍රකාශ ගුණ වෙනස් කරන බාහිර බලශක්ති භාවිතයෙන් තොරව කියාකරන බහු කාර්ය වීදුරු කවුළුවක් සෑදීමට ඔවුන් සමත් විය.
වැන්ඩියම් ඔක්සයිඩ් (VO2) සිහින් තීරැවක් පොලිකාබනේට් (Polycarbonate) ස්ථර දෙකක් අතර අතුරන ලදි. පොලිකාබනේට් ජනේල 37o c උෂ්ණත්වය දක්වා විනිවිද පෙනෙන අතර තාපය ඇතුළු වීමට ඉඩ සලසයි. එහෙත් 37o c සීමාව ඉක්මවූ විට VO2 ලෝහයක් ලෙස තාපය ඇති කරන අධෝරක්ත කිරණ පරාවර්තනය කරයි. එවිටද සාමාන්‍ය ඇසට ජනේලයෙන් විනිවිද දැකිය හැකි වීම විශේෂත්වයයි. කවුළුවේ කෙළවරයන්ට ආලෝක කිරණ වලින් කොටසක් වැන්ඩියම් විසින් විසුරුවා හරින ආකාරයට සකස්කර ඇත.අඟල් කිහිපයක් පමණ පළල එම කෙළවරයන්හි ප්‍රකාශ වෝල්ටී කෝෂ (Photovoltaic cell) ගාවෝ විසින් සවිකරන ලද්දේ එමඟින් විදුලිය උත්පාදනය කිරීමටයි.
සාමාන්‍යයෙන් කාමරයේ උෂ්ණත්වය පාලනයට වැය වන විදුලිය වෙනුවෙන් දැරිය යුතු පිරිවැය හා සසැඳීමේදී මිල අධික වුවත් මෙම නව බහුකාර්ය කවුළුව ප්‍රයෝජනවත් වේ.



 //  JESSE EMSPAK

බිහිරි අයට නව හඩක්

සාමාන්‍ය මිනිසුන් සහ බිහිරි අය (ශ්‍රව්‍ය ආබාධිත) එකිනෙකා හා අදහස් හුමාරු කළේ හස්ත සංඥා ක්‍රමයෙනි. ඒ සඳහා ආබාධිත සහ ආබාධිත නොවන පුද්ගලයන් හස්ත සංඥා ක්‍රමය උගත යුතුය. එහෙත් මෙම නව හස්ත සංඥා පරිවර්තකයා හස්ත සංඥා, ලිඛිත හා වාචික භාෂා වලටත් ලිඛිත හා වාචික භාෂා, හස්ත සංඥා වලටත් පරිවර්තනය කළ හැකි.නිසා ආබාධිත සහ ආබාධිත නොවන පුද්ගලයන් දොඩමළු වීමට ආබාධිත නොවන අය හස්ත සංඥා භාෂාව ඉගෙනීමටද ශ්‍රව්‍ය ආබාධිතයින් ඇසීම හෝ කථා කිරීද අවශ්‍ය නොවේ.
නව හස්ත සංඥා පර්වර්තන ක්‍රමය චීනයේ පර්යේෂක කණ්ඩායමකගේ සොයා ගැනීමකි.මෙම තාක්ෂණය සඳහා චලන කැමරා හා පරිගණක භාවිතා කරනු ලැබේ. බීජින් යුනියන් විශ්ව විද්‍යාලයේ ගුරුවරු හා ශිෂ්‍ය කණ්ඩායමක් නිවැරදි වචන ගැලපීම සඳහා සහය වී තිබේ. පරිවර්තකයා ලිඛිත හා වාචික භාෂා හස්ත සංඥා ලෙස තිරයක් මත ආබාධිතයින්ටද ලබා දේ.තවද එය හස්ත සංඥා හඳුනාගෙන ඒවාට අදාල ලිඛිත හා වාචික පරිවර්තන ඉංග්‍රීසි හා මැන්ඩරින් භාෂා වලින් ආබාධිත නොවන අයට විලෝමව ඉදරිපත් කරයි. මෙම තාක්‍ෂණය වෛද්‍යවරුන්ගේ කාර්යාල, ආරෝග්‍යශාලා, ගුවන් තොටුපල වැනි ස්ථාන වල භාවිතය සඳහා වැඩි දියුණු කරන බවත් පරිවර්තකයා අඩු වියදම්, කාර්යක්‍ෂම සහ සජීවි බවත් පර්යේෂකයෝ සඳහන් කරති. මේ නිසා නව සන්නිවේදන රැකියා අවස්ථා ආබාධිතයින් සඳහා උදා වෙනු ඇතැයි සඳහන් වේ.

උපුටාගැනීම: