Monday, October 14, 2013

දියවැඩියාවට කෘත්‍රිම අග්න්‍යාසයක්

දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් (insulin) මට්ටම පාලනය කිරීමේ කාර්යයට නිෂ්පාදිත කෘත්‍රිම අග්න්‍යාසයක් සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේ.
අග්න්‍යාසය මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝමෝන ශරීරය තුල නිපදවයි. එහෙත් පළවැනි ඛාණ්ඩයේ (සමහර අවස්ථාවලදී 2 ඛාණ්ඩය) දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාස ඉන්සියුලින් නිෂ්පාදනය නොකරන බැවින් ලේවල සීනි මට්ටම ක්‍රමවත් කිරීමට ශරීරයට නොහැකිය.

මිනොපොලිස් (Minneapolis) ප්‍රාන්තයේ Medtronics නම් වෛද්‍ය තාක්‍ෂණ සමාගම විසින් පැළඳිය හැකි කුඩා යාන්ත්‍රික උපකරණයක් ලෙස නිර්මාණය කර ඇති මෙම ක්‍රමයෙන් ශරීරයේ ග්ලූකෝස් මට්ටම අධික ලෙස අඩු වුවහොත් ඒ බව හඳුනාගෙන ඉන්සියුලින් සැපයීම ස්වයංක්‍රීයව නවතා රෝගියා දියවැඩියාවේ කෝමා (අධිමුර්ජාව) තත්වයට පත්වීමෙන් වළක්වාගනු ලැබේ.

සාම්ප්‍රදායික ක්‍රම මඟින් රුධිරයේ සීනි මට්ටම ප්‍රමාණය ඉක්මවා අනතුරුදායක ලෙස පහල බැස තිබියදීත් ඉන්සියුලින් සැපයීම අඛන්ඩව සිදුවීම නිසා බොහෝ විට රෝගීහු විසඥතාවයට (unconsciousness) පත් වෙති. මෙය නින්දේදී සිදුවූයේ නම් රෝගියාට තමාගේ රුධිරයේ සීනි මට්ටම ආමානය (මැන ගැනීම) කර ගත නොහැකි වීමෙන් භයානක ප්‍රතිපල අත්විය හැකිය. Medtronic’s MiniMed (මෙඩ්ට්‍රොනික් මිනිමෙඩ්) 530G ක්‍රමය රුධිරයේ සීනි අඩු අවස්ථා (hypoglycemia/මන්ද මධුරක්තිය) හඳුනාගෙන (93% ක ප්‍රතිශතයකින්) රෝගියාට ඒ බව දැනුම් දීමට අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරයි. එහෙත් එයට රෝගියා ප්‍රතිචාර නොදැක්වුවහොත් යන්ත්‍රය විසින් සිවයංක්‍රීයව ඉන්සියුලින් සැපයුම පැය 02 කට නවත්වා අනතුරුදායක (මන්ද මධුරක්තිය සන්යාසය) තත්වය මඟ හරිනු ලැබේ.


පැළඳිය හැකි කුඩා යාන්ත්‍රික උපකරණයක් වන කෘත්‍රිම අග්න්‍යාසය දියවැඩියා රෝගීන් ආරක්‍ෂා කර ඔවුන්ට ආරක්‍ෂාකාරී සුව නින්දකට ඉඩ සලසනු ඇත.



උපුටා ගැනීම  :-  Shauncy Ferro – Popular Science October

No comments:

Post a Comment