Monday, October 28, 2013

ජලජ ග්‍රහයෙක්

ජලය ජීවයේ උල්පතයි.පිටසක් වල ජිවීන් පිළිබඳ අපේ කුතුහලය ඉහළනංවමින්පෘථිවියේ මෙන් ජලය සහිත ශිලාමය (ගල් වලින් පිරි) කුඩා ග්‍රහලෝකයක් හෝ ක්‍ෂුද්‍ර ග්‍රහයෙකු පිළිබඳ සාක්‍ෂි තාරකා විද්‍යාඥයින් විසින් මෑතකදී අනාවරණය කර ගෙන තිබේ. පෘථිවියේ ජල ප්‍රමාණය එහි ස්කන්ධයෙන් 0.023% පමණක් වුවත් මෙම කුඩා ග්‍රහලෝකයේ එහි ස්කන්ධයෙන් 26% ක ජල ප්‍රමාණයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් දක්නට ලැබුණු ප්‍රථම ජලය සහිත පාෂාණමය අංගය මෙය වේ.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ පරීක්‍ෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන ජේ ෆාරිහි නියත වශයෙන් වාසයට සුදුසු ග්‍රහලෝක පැවතීමේ විභවයක් ඇති බව මෙමඟින් පිළිඹිබු වන්නේ යැයි පවසයි.
 තම තාරකාව වූ GD 61 ආසන්නයේදී වඩා විශාල පාෂාණමය ග්‍රහලෝකයක් හා මෙම කුඩා ජලජ ග්‍රහයා ගැටීමෙන් පසු GD 61 ගුරුත්ව බලයෙන් එය ඉවතට තල්ලු කර ඇතැයි සැලකිය හැකි බවත් මේ අවස්ථාවේදී ජලජ ග්‍රහලෝකයේ තත්වය සුභදායක නොවන අතර එය හුදෙක්, සුදු කුරුමිටෙකු (වාමනයා) වන් GD 61 තාරකාව වටා භ්‍රමණය වන සුන්බුන් කැබලි පොකුරක් (debris bunch) බවත් ෆාරිහි හා ඔහුගේ කණ්ඩායම ප්‍රකාශ කරයි.

Hubble Space නම් දුර දක්නය මඟින් ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කර ජර්මනියේ හා එක්සත් ජනපදයේ තාරකා විද්‍යාඥයෝ ජලජ ග්‍රහයාගේ රසායනික සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරති. GD 61 තාරකාවේ වායුගෝලය අනුව පැහැදිලි කළ හැකි ප්‍රමාණයට වඩා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් මෙහි පවතින බවට සාක්‍ෂි ලැබී තිබේ. මෙම අමතර ඔක්සිජන් ජලය හෝ කාබන් හා බැඳී තිබිය(ඔක්සිජන්, කාබන් හා බැඳෙනුයේ කාබන්ඩයොක්සයිඩ් ලෙසටය) යුතු බව ජලජ ග්‍රහයා ගැන අධ්‍යයනය කළ බෝවික් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ බොරිස් ගැන්සිකේ ප්‍රකාශ කරයි. එහෙත් GD 61 හි ඉතා සුළු කාබන් ප්‍රමාණයක් තිබෙන බව සොයාගෙන ඇති බැවින් මෙම ඔක්සිජන්, ජලජ ග්‍රහයාගේ ජලය හා මිශ්‍රව පැවතිය යුතු බව පාරිහි, ගැන්සිකේ හා තුන්වන සහකරු කීල් විශ්ව විද්‍යාලයේ ඩෙට්ලෙව් කොයෙස්ට සඳහන් කරති.

තව වසර බිලියන 06 කට පසු පෘථිවිය අයත් තාරකාව වන හිරු,සුදු කුරුමිට්ටකු වී එහි ගුරුත්වාකර්ෂණයෙන් වටා ඇති ගුහලෝක හා ක්‍ෂුද්‍ර ග්‍රහලෝක ආකර්ශණය කර ගනු ඇත.එහෙයින් GD 61 හා එහි සුන්බුන් පෘථිවි අනාගතය පිළිබඳ ක්ෂණික දර්ශණයක් විය හැකි බවට අදහස් දක්වති.


Farihi & team  - Journal science

Francie Diep  -  Popular science, October   ඇසුරෙනි.

Thursday, October 17, 2013

ද්‍රව මත ඇවිදින ද්‍රව බින්දු

මෙම කුඩා සිලිකන් තෙල් බින්දු කම්පනය වන සිලිකන් තෙල් ද්‍රාවණය මතට වැටී තෙල් බින්දුව ද්‍රාවණය තුල ගිලී ද්‍රාවණයේම කොටසක් නොවී ද්‍රාවණය මත පනිමින් ඇවිදින අයුරු අපූරු නොවේද?ද්‍රාවණයේ කම්පනය නිසා ඇති කරන තරංග මත තෙල් බින්දු ගැටීම නිසා එය ද්‍රාවණය මත චලනය වේ.



 සාමාන්‍ය ඇසට,තෙල් ද්‍රාවණය තුල තෙල් බින්දුව පනිමින් දුවන අයුරු දර්ශණයවේ.තෙල් බින්දු ප්‍රදර්ශනය කරන මෙම ස්වභාවය ක්වොන්ටම් තාක්‍ෂණය පිළිබඳ අධ්‍යයනය වැදගත් බව පර්යේෂකයෝ සඳහන් කරති.


 ඉතා සියුම් (අන්වීක්‍ෂක) අංශු තරංග සමඟ සම්බන්ධ වී චලනය වීම විස්තර කරන ක්වොන්ටම් ක්‍රමයක් වූ Pilot wave dynamics (නියමු තරංග ගතිකය)නම් අධ්‍යයනය සඳහා මෙය විශාල පිටුවහලක් බව ඔවුන්ගේ මතයයි. ඩෙන්මාර්ක්හි තාක්‍ෂණ විශ්ව විද්‍යාලය හා MIT ආයතනයේ droplets සම්බන්ධ අධ්‍යයනයේදී ලබා ගත් මෙම අපූරු වීඩියෝ දර්ශණය Physics of Fluid සඟරාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.


උපුටා ගැනීම  :- Shaunacy Ferro, Popular Science, October                            http://www.popsci.com/article/science/watch-droplet-walk-liquid-video?dom=PSC&loc=recent&lnk=7&con=watch-this-droplet-walk-on-liquid-videohttp://www.youtube.com/watch?v=nmC0ygr08tE

Monday, October 14, 2013

දියවැඩියාවට කෘත්‍රිම අග්න්‍යාසයක්

දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් (insulin) මට්ටම පාලනය කිරීමේ කාර්යයට නිෂ්පාදිත කෘත්‍රිම අග්න්‍යාසයක් සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේ.
අග්න්‍යාසය මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝමෝන ශරීරය තුල නිපදවයි. එහෙත් පළවැනි ඛාණ්ඩයේ (සමහර අවස්ථාවලදී 2 ඛාණ්ඩය) දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාස ඉන්සියුලින් නිෂ්පාදනය නොකරන බැවින් ලේවල සීනි මට්ටම ක්‍රමවත් කිරීමට ශරීරයට නොහැකිය.

මිනොපොලිස් (Minneapolis) ප්‍රාන්තයේ Medtronics නම් වෛද්‍ය තාක්‍ෂණ සමාගම විසින් පැළඳිය හැකි කුඩා යාන්ත්‍රික උපකරණයක් ලෙස නිර්මාණය කර ඇති මෙම ක්‍රමයෙන් ශරීරයේ ග්ලූකෝස් මට්ටම අධික ලෙස අඩු වුවහොත් ඒ බව හඳුනාගෙන ඉන්සියුලින් සැපයීම ස්වයංක්‍රීයව නවතා රෝගියා දියවැඩියාවේ කෝමා (අධිමුර්ජාව) තත්වයට පත්වීමෙන් වළක්වාගනු ලැබේ.

සාම්ප්‍රදායික ක්‍රම මඟින් රුධිරයේ සීනි මට්ටම ප්‍රමාණය ඉක්මවා අනතුරුදායක ලෙස පහල බැස තිබියදීත් ඉන්සියුලින් සැපයීම අඛන්ඩව සිදුවීම නිසා බොහෝ විට රෝගීහු විසඥතාවයට (unconsciousness) පත් වෙති. මෙය නින්දේදී සිදුවූයේ නම් රෝගියාට තමාගේ රුධිරයේ සීනි මට්ටම ආමානය (මැන ගැනීම) කර ගත නොහැකි වීමෙන් භයානක ප්‍රතිපල අත්විය හැකිය. Medtronic’s MiniMed (මෙඩ්ට්‍රොනික් මිනිමෙඩ්) 530G ක්‍රමය රුධිරයේ සීනි අඩු අවස්ථා (hypoglycemia/මන්ද මධුරක්තිය) හඳුනාගෙන (93% ක ප්‍රතිශතයකින්) රෝගියාට ඒ බව දැනුම් දීමට අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරයි. එහෙත් එයට රෝගියා ප්‍රතිචාර නොදැක්වුවහොත් යන්ත්‍රය විසින් සිවයංක්‍රීයව ඉන්සියුලින් සැපයුම පැය 02 කට නවත්වා අනතුරුදායක (මන්ද මධුරක්තිය සන්යාසය) තත්වය මඟ හරිනු ලැබේ.


පැළඳිය හැකි කුඩා යාන්ත්‍රික උපකරණයක් වන කෘත්‍රිම අග්න්‍යාසය දියවැඩියා රෝගීන් ආරක්‍ෂා කර ඔවුන්ට ආරක්‍ෂාකාරී සුව නින්දකට ඉඩ සලසනු ඇත.



උපුටා ගැනීම  :-  Shauncy Ferro – Popular Science October

Tuesday, October 8, 2013

රියදුරු නොමැති මෝටර් රථ






මෝටර් වාහන පාලනය වෙනස් වීමේ රැල්ලට වාහන අතර සන්නිවේදනය,ගමනාගමන තදබද සහකරු වැනි අංග එක් වීම මගින් මාර්ග නීති පිළිබඳව වඩා වැඩි විශ්වාසයකින් කටයුතු කිරීමට රියදුරුට සිදුවේ. ඔබගේ මෝටර් රථය සුපුරුදු උදෑසන මාර්ග තදබදය තුල ඉතා සෙමින් ධාවනය වන විට, බොත්තමක් ඔබා මෝටර් රථයේ ධාවන වගකීම මොටර් රථයටම පවරා ඔබට තේ කෝප්පයක් පානය කල හැකිය.

විශේෂ අධිවේග මාර්ග ධාවන තත්‍ව යටතේ ස්වයංක්‍රියව (රියදුරා නොමැතිව) ධාවනය වීමේ හැකියාව ඇති බව, තම පළමු ස්වයංක්‍රිය මෝටර් රථය ලෙස  Mercedes – Benz සමාගමේ 2014 -S පංතියේ මෝටර් රථය වෙළඳපොලට ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි.මෙහි රියදුරු රිය පාලනය කිරීමට කිසිවක් කළ යුතු නැති නමුත් සුක්කානම මත දෑත රඳවාගෙන සිටීම අවශ්‍ය වේ.සුක්කානමෙන් දෑත ඉවත් කළවිට සංවේදක මගින් ස්වයංක්‍රියව එය රියදුරු ධාවනය කිරීමේ ක්‍රමයට පරිවර්තනය වේ.රියදුරු නොමැති වාහන පිළිබඳව සමහර මෝටර් රථ නිෂ්පාදකයන් වෙහෙසට පත්ව තිබුණද  Google සමාගම එය ග්‍රහණය කරගෙන ඇත.මේ සෙවුම් යන්ත්‍ර (Search Engine) යෝධයා පසුගිය දශක දෙකම ස්වයංක්‍රිය ධාවනය සම්බන්ධව ක්‍රියාකාරී විය.මීටඅමතරව ඇමරිකා එක්සත් ජනපදයේ නෙමෙඩා,ෆ්ලෝරිඩා හා කැලිෆෝනියා යන ප්‍රාන්ත වල රියදුරු රහිත වාහන ධාවනය අනුමත කිරීමේ නීති සම්මත කර ඇත.

Google සමාගමේ රියදුරු නොමැති මෝටර් රථ කැලිෆෝනියාවෙදී පමණක්  සැතපුම් 300,000 ක දුර අනතුරකින් තොරව පරීකෂණ ධාවනය සම්පුර්ණ කර තිබේ. සුක්කානම අසල අසුනේ මගියෙකු සිටියද ඔහු රිය පැදවිය යුතු නැත. සංවේදක, ලේසර්, වහලේ සවිකර ඇති 3600  භ්‍රමණයක් සවිත කැමරාව සහ GPS සම්බන්ධතාවය මෝටර් රථය මෙහෙයවයි.එහි ධාවනයේ ආරක්ෂිත බව වර්ධනයට අවධානය යොමු වී ඇතත් මෝටර් රථ නිෂ්පාදනයට අවතීර්න වීමට අදහසක් නොමැති බව Google සමාගම ප්‍රකාශ කරයි.
මේ අතර Toyota සමාගමද ස්වයංක්‍රියව ධාවනය කල හැකි මෝටර් රථය ලෙස වැඩිදියුණු කල Lexus මෝටර් රථය ප්‍රදර්ශනය කළද එය පර්යේෂණාත්මක තත්වයේ බව දන්වන ලදී.


රියදුරු රහිත වාහන තාක්ෂණය තව වසර 10කින් සම්පුර්ණ කිරීමට Google සමාගම අපේක්‍ෂා කළද, නීති හා රෙගුලාසි,රක්‍ෂණය, රියදුරු අධ්‍යාපනය, පසුතල පහසුකම් වැනි බාධක නිසා ඊට වැඩි කාලයක් වුව ගත විය හැකිය. නෛතිකව අන්ධ පුද්ගලයෙකු කැලිෆෝනියා නගරයේ Google මෝටර් රථය පදවන හා ගමනේදී ආහාර පාර්සලයක් මිලදී ගන්නා අයුරු වීඩියෝවේ දැක්වේ.

උපුටාගැනීම:

Tuesday, October 1, 2013

මොළයට බෙහෙත් දෙන චුම්භක නැනෝ රොබෝවරු


නැනෝ (නිනිති) මීටර 1 ක් යනු මීටරයකින් කෝටි 100 කින් පංගුවකි. එනම් අනුපාතයක් ලෙස වීදුරු මාබල් බෝලයක් (නැනෝ මීටර 1) හා පෘථිවිය (මීටර 1) ලෙස සන්සන්දනය කළ හැක.
එතරම් කුඩා වූ නැනෝ (නිනිති) අංශු නැරඹීම හා ඒවා මෙහෙයවීම සඳහා ඉතා සූක්‍ෂම අන‍්වීක්‍ෂ භාවිතා කළ යුතු අතර ඒවා ආරක්‍ෂාකාරීව පාලනය වන පරිසරයක් තුල පවත්වාගෙන යෑම හා ක්‍රියාත්මක කිරීම කළ යුතුය. අවකාශයේ අංශු හා පරීක්‍ෂකයන්ගේ අංශු මඟින් උපකරණ දුෂ්‍ය වීම වැලැක්වීමට අතිශය පිරිසිදු,කම්පනයෙන් ආරක්‍ෂා කිරීමට ටොන් 5000 ක කොන්ක්‍රීට් එකකට සවි කරන ලද අඩි 40 ක් පොළව යට වූ පරීක්‍ෂණාගාර වල විද්‍යාඥයෝ නැනෝ තාක්‍ෂණය පිළිබඳ විවිධ පරීක්‍ෂණ වල නියැලෙති.             

නිනිති තාක්‍ෂණ යෙදුම් වෛද්‍ය, ඉලෙක්ට්‍රොනික, බලශක්ති, අභ්‍යවකාශ,පාරසරික, ආහාර, ක්‍රීඩා, ඇඟලුම් වැනි විවිධ විශාල ක්‍ෂේත්‍ර සමූහයක් සඳහා ක්‍රියාත්මක වේ.වෛද්‍ය විද්‍යාවේ චුම්භක නිනිති රොබෝවරු (magmatic Nano bots) මඟින් ඖෂධ මොළය,පිළිකා සෛල,ඇස ඇතුළු ශරීරයේ සංකීර්ණ ස්ථාන වල ආබාධිත කොටසටම පමණක් ලැබෙන සේ ප්‍රවාහනය කිරීමට හැකි වීම අතුරු ආබාධ බොහෝ සේ වලකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කිරීමේ අවස්ථාව සලසා දී තිබේ.එමඟින් වර්තමානයේ සුවපත් කළ නොහැකි රෝගීන් බොහෝ දෙනෙකු සුවපත් වනු ඇත.
රූපයේ දැක්වෙන 100 මයික්‍රෝන දිග හා 40 මයික්‍රෝන පළල මොළයේ අදාල ආබාධිත ස්ථානයට ඖෂධ ගෙන යන වාහනයක් ලෙස වූ ඉතා කුඩා නැනෝ අංශු ස්විස්ටර්ලන්තයේ හා දකුණු කොරියාවේ ආයතන සහයෙන් චීන පර්යේෂකයෝ විසින් නිර්මාණය කර ඇත. විද්‍යුත් චුම්භක ක්‍ෂේත්‍ර මඟින් ධාවනය කරවන මෙම micro bots (නිනිති රොබෝ අංශු) නිකල් ආලේපිතය.

ඉතා කුඩා රොබෝ අංශු ප්‍රතිකාර අවශ්‍යතාවය සඳහා රුධිරය තුල පිනා යෑමට සැලැස්වීම වසර 2011 දී භාවිතා විය.වෙනත් micro bots වර්ග ඖෂධ ගෙන ගියද ඒවායේ වක්‍ර හැඩ හා කුඩා ඉඩ කඩ නිසා ගෙන යා හැකි වූ ඖෂධ ඖෂධ ප්‍රමාණය සීමාසහිත විය. සජීවි සතුන් තුලචුම්භකත්වයෙන් ගමන් කරන robots ද මින් පෙර භාවිතා කර තිබේ. එසේ නම් මෙම micro bots ගේ විශේෂත්වය කුමක්ද? පිළිතුර ප්‍රමාණය ව්‍යාපෘතියේ පර්යේෂකයකු වූමෙසේ විස්තර කරයි. “micro bots යනු ආබාධය ඇති ස්ථානයට ඖෂධ ප්‍රවාහනය කරන වාහනයකි.ඒ සඳහා මට අවශ්‍ය මෝටර් රථයක් නොව ට්‍රක් රථයකි විශාල ඉඩ සහිත micro bots වැඩි ඖෂධ ප්‍රමාණයක් ප්‍රවාහනය කරයි. මනුෂ්‍යයින් සඳහා micro bots යොදා ගැනීමට තව කාලයක් ගතවිය හැකි නමුත් හාවා, මීයා වැනි සතුන් සඳහා අත්හදා බැලීම් කර තිබේ.




වයර් නොමැති විදුලිය (WiTricity)



Nikola Tesla මහතා වසර 100 කට පෙර රැහැන් රහිත (වයර් නොමැති) විදුලිය (wireless Electricity) පිළිබඳ ප්‍රථමයෙන් අදහස් දක්වමින් කිසිවෙකු නොසිතූ ලෙස රැහැන් නොමැතිව විදුලිය ගමන් කරවීම (විදුලිය සම්ප්‍රේෂණය) සඳහා Tesla coil වැනි විවිධ ප්‍රායෝගික නිර්මාණ ඉදිරිපත් කරන ලදි.Long Island හි ඉඳිකර ඇති මෙම කුළුණ (රූපය), ලොවටම විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් ක්‍රි.ව. 1900 මුල් කාලයේදී ඉදි කළද එය එම වකවානුවේදීම ආරක්‍ෂක හේතූන් මත FBI ට පවරා ගෙන තිබේ.
විදුලිය මිනිසුන්ට අත්‍යවශ්‍ය අංගයකි. විදුලිය උත්පාදනය හැර විදුලි නිෂ්පාදිතයේ සිට විදුලි පරි‍භෝජනය දක්වා ප්‍රවාහනයට ඉදිකර ඇති අධිබලැති විදුලි කණු හා රැහැන් සඳහා ඩොලර් ප්‍රකෝටි ප්‍රමාණයක් ආයෝජනය කර ඇත.විදුලි බලය ලබා දෙන අනෙක් භාණ්ඩය නම් බැටරියයි. වසරකට භාවිතා කර ඉවතලන බැටරි බිලියන 40 ක් පමණ නිෂ්පාදනය කරන අතර ආයු කාලයෙන් පසු ඒවායේ දිරාපත් වීම පරිසරයට අහිතකර වේ. එමෙන්ම බැටරි මඟින් කිලෝ වොට් 1 ක විදුලිය ලබා ගැනීමට විශාල මුදලක් අවශ්‍ය වේ. 



වසර කිහිපයකට පෙර MIR ආයතනයේ සෛද්ධාන්තික භෞතික වේදීන්ගේ කණ්ඩායමක් විදුලිය සම්ප්‍රේෂණය (වයර නොමැතිව විදුලිය ප්‍රවාහනය) කිරීමේ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර මීටර 2 ක් දුරින් වූ විදුලි බුබුලක් දල්වන ලදි. මෙහි කාර්යක්‍ෂමතාව 50% ක් පමණ වුවද බැටරියක් මඟින් ක්‍රියාත්මක කිරීමට වඩා කාර්යක්‍ෂම වේ. එහෙත් එහි කොයිල් ප්‍රමාණයෙන් විශාල වූ අතර විදුලි බුබුලක් දැල්වීම සංකීර්ණ ක්‍රියාවක් නොවේ. බිරිඳගේ cellular(සෙලියුල)  දුරකථනය බැටර් බලය අඩු බව හැඟවීමට නාද වීමෙන් අඛන්ඩව රාත්‍රී 3 ක් නින්දෙන් අවදි වූ මහාචාර්යවරයාට ඇති වූ “‍‍මේ කාමරය පුරා ඇති විදුලිය හෝ විදුලි පේනු එකක් හෝ cellular දුරකථනයට පැන එය ආරෝපණය (විදුලිය සම්ප්‍රේෂණය) නොකරන්නේ මන්ද? මගේ නින්දට බාධා නොකර”යන සිතුවිල්ල resonant energy transfer (අනුනාද ශක්ති සම්ප්‍රේෂණය) සංකල්පය ඇති වීමට හේතු විය.
ක්‍රියාකාරීත්වය
සත්‍ය ලෙසම ට්‍රාන්ස්ෆෝරමය (transformer) තුල coil ( දඟර) දෙකක් අතර චුම්භකව හා රැහැන් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය වුවද coil දෙක ඉතා ළඟින් ට්‍රාන්ස්ෆෝරමය තුලම පිහිටා තිබේ. නෘත්‍ය ගායිකාවකගේ ගී නාදයෙන් වෙනත් කාමරයක ඇති වීදුරුවක් බිඳෙන්නා සේ වූ අනුනාද සංසිද්ධියෙන් (resonant phenomenon) ගොඩනැඟුණු තාක්‍ෂණය භාවිතා කර ආචාර්ය Sol Jacic දඟර දෙක එකිනෙකින් දුරස් කරන ලදි. මෙම සොයා ගැනීමට, ශෙෂ්ඨ බුද්ධිමතා (Genius) සම්මානය නම් අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලැබූ Mac Arthur Fellowship සම්මානයෙන් පසුගිය සැප්තැම්බරයේදී ඔහු පිදුම් ලැබුවේය.
දඟරයට සම්බන්ධිත විදුලිබල ධාරකය (capacitor) ස්පන්දනය කිරීම මඟින් A/C විදුලියේ (ප්‍රතිවර්තිතධාරා/Alternate current) සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් අනුනාද කරනු ලැබේ.ඉන් පසුව එම ප්‍රභවය/ උපකරණය අසලට එම සංඛ්‍යාතයෙන්ම පමණක් ක්‍රියාකල හැකි උපකරණයක් ආසන්න කළ විට උපකරණ දෙකම දැඩි සේ යුගල ගත වී ඒවා අතර චුම්බක ශක්තිය සම්ප්‍රේෂණය වේ.එනම් පළමුව විදුලියෙන් ආරම්භ වී එය චුම්බක ක්‍ෂේත්‍රයට පරිවර්තනය කර, එම චුම්බක ක්‍ෂේත්‍රය භාවිතා කළ හැකි විදුලිය බවට පරිවර්තනය කිරීම මෙහිදී සිදු වේ.
දැන් ඇතිවන ප්‍රධාන ප්‍රශ්ණය මෙය ආරක්‍ෂාකාරීද? යන්නයි. (පුද්ගලයින්, ඔවුන්ගේ විදුලි උපකරණ, පරිසරය යනාදිය සඳහා)
1.      මෙය විකිරණ සම්බන්ධ තාක්‍ෂණයක් නොව, එනිසා විකිරණශීලී නොවේ.
2.      මෙහි විදුලි ක්‍ෂේත්‍රයක් නොමැත. ඇත්තේ චුම්භක ක්‍ෂේත්‍රයක් පමණි.
3.      චුම්භක ක්‍ෂේත්‍ර අදාල උපකරණ තුල පමණක් ක්‍රියාත්මක වන අතර එය අප ජීවත් වන පෘථිවි චුම්භක ක්‍ෂේත්‍රය මෙන්ය.
4.      මෙම තාක්‍ෂණයේ ආකර්ශණීය ගුණාංගය නම් නියමිත සංඛ්‍යාතයෙන් ක්‍රියාත්මක උපකරණ වලට පමණක් ශක්තිය ආරෝපණය වේ. ස්වාභාවිකව මෙම ඉහළ සංඛ්‍යාතය ඇති කිරීම ඉතා අපහසුය. (එනම් විදුලි සැර වැදීමේ අවදානමක් නැති වේ.)
5.      ජාත්‍යන්තර පාලන අධිකාරීන් රජය පනවා ඇති නීති, රෙගුලාසි හා නිරීක්‍ෂණ මඟින් සෑම ක්‍රියාවක්ම පාලනය වී තිබේ.

වර්තමානයේ භාවිතා වන  ජංගම දුරකථන,  ගෘහ විදුලි උපකරණ, මේස, පුටු යට ඇති රැහැන් මඟින් හා බැටරි වලින් ක්‍රියාත්මක සියළු උපකරණ, ග්‍රිල්, මෝටර් වැනි විදුලි යාන්ත්‍රික උපකරණ,විදුලියෙන් ක්‍රියාත්මකවන වාහන වැනි යන්ත්‍රෝපකරණ වල  බොහෝ විට පිටුපස/යට විද්‍යුත් කොයිලයන් සහිත WiTricity මඟින් ක්‍රියාකරන ඒකකයන් සවි කර යන්ත්‍රෝපකරණ පණගැන්වීම/ක්‍රියාත්මක කිරීම/ ආරෝපණය කිරීම කළ හැකිය. එම ඒකකය (ප්‍රභවය) භාවිතයට ගන්නා යන්ත්‍රෝපකරණවලට අදාල ලෙස සාදා සවි කර ඇති බැවින් මහජනතාව විදුලිය භාවිතයෙන් කරන කටයුතු සුපුරුදු ලෙස එහෙත් රැහැන් භාවිතයෙන් තොරව  කළ හැකි වේ. වෙළඳපොලේ ඇති රූපවාහිනියක්, Google GI, Apple, Nokia වර්ගයේ cellular දුරකථන(මේවායේ පිටුපස බැටරිය හා WiTricity ඒකක සවි කර තිබේ) WiTricity මඟින් පන ගන්වන අයුරු නරඹන්න. මෙහිදී WiTricity මුල් ප්‍රභවය ලෙස ජෙනරේටරයකට (Generator) වඩා කුඩා මුල් ප්‍රභවයක් භාවිතා කරනු දැකිය හැකිය. මුල් ප්‍රභවය හා යන්ත්‍රෝපකරණයේ  ප්‍රභවය අතර එහා මෙහා යමින් රැහැන් හෝ හානිකර විදුලි ගලා යාමක් සිදු නොවන බව පෙන්වාදෙයි.
ඉදිරියේදී WiTricity ප්‍රභවයන් නිවසේ සිවිලිමේ, පොළවේ, මේසය යට වුවද සවි කර ගත හැකි වන නිසා ඔබගේ විදුලි මොටර් රථය ගරාජයේ අතුරා ඇති කලාලය (carpet) විසින් කාර්යක්‍ෂමව, ආරක්‍ෂා සහිතව, ස්වයංක්‍රීයව ආරෝපණය කරනු ඇත. එක් සංඥා කුළුණකින් විශාල ප්‍රදේශයක ජංගම දුරකථන සඳහා සංඥා ලබා ගත හැකි සේම එක් WiTricity මුල් ප්‍රභවයකින් අවට ප්‍රදේශයේ නිවාස, ගොඩනැගිලි, කර්මාන්තශාලා හා ඒවායේ උපකරණ/යන්ත්‍ර සූත්‍ර වලට රැහැන් නොමැතිව විදුලි බලය ලබා ගැනීමට නුදුරු අනාගතයේදීම හැකිවනු ඇත.


                        http://www.youtube.com/watch?v=wM8XkUeFcjc